"ජීවත් වෙන්නේ එක පාරයි..."

"ජීවත් වෙන්නේ එක පාරයි..." එහෙම හිතලා ආතල් එකේ ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද... ඔව් මාත් එහෙම ජීවත් වුණ කෙනෙක්, ඒත් එහෙම හිතපු මට ජීවිතේ වරදින්න වැඩි කාලයක් ගියේ නැහැ... මට අවුරුදු 20 වෙද්දී මම ප්‍රෙග්නට් වුණා. ඔව්, ඒලෙවල් ඉවර වෙලා අවුරුද්දක් යන්න කලින්, මේ ලෝකේ ගැන දැන ගන්න කලින්, මම මේ ලෝකේ ඇතුළේ අතරමං වුණා වගේ හැඟීමක් මට දැණුනේ... මොනාද කරන්නේ කියාලා හිතා ගන්න බැරි වුණ මම මේ ගැන මුලින්ම කිව්වේ මගේ අම්මට, මම දන්නේ නැහැ අම්මට ඒ වෙලාවේ මං ගැන මොනාද හිතුනේ කියලා... අම්මා කරේ පුටුවක වාඩි වෙලා දිගටම අඬපු එක, මම අම්මා ලඟ බිම වාඩි වෙලා ඇඬුවා... තාත්තා හවස ගෙදර එනකම්ම මම අම්මයි මමයි හිටියේ අඬ අඬ, මගේ තාත්තාගේ මූණ බලන්නේ කොහොමද මම, එයා ජීවත් වෙන්නේ කොච්චර වැදගත් විදියටද... තාත්තා ගෙදර ඇවිත් ඇයි කියලා ඇහුවම, අඬ අඬ හිටපු අම්මා, තාත්තට  හැමදේම කිව්වා.. මම බිම වාඩිවෙලා හිටියේ තාත්තා මාව මැරුවත් කමක් නැහැ කියන දේ හිතේ තියාගෙන... ඒත් එයා මගේ මුණ දිහාවත් බැලුවේ නැහැ, එක වචනයක් කතා කළේ නැහැ... පුටුවක වාඩි වෙලා ඔහේ බලා ගත්තු අත බලාගෙන හිටියා... මම අඬ අඬ තාත්තා ලඟට ගිහින් එයාගේ කකුල් දෙක ලඟ වැටිලා සමාව ගත්තත්, එයා මගේ දිහා නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ... මුළු ගෙදරම මළ ගෙයක් වගේ... අන්තිමේදී තාත්තා කතා කලා, එයා මගේ ඇහුවේ එක දෙයයි, "පුංචි කාලේ ඉඳන් ඉල්ලන ඉල්ලන දේ දුන්න මට ඇයි මෙහෙම කලේ කියලා..." ඒකට උත්තර දෙන්න මං ලඟ වචන තිබ්බේ නැහැ. මම කරේ අඬපු එක විතරයි. මගේ ජීවිතේ නැති කර ගන්න ඕනේ කියන හැඟීම ඇති වෙන්න මට වැඩි වෙලා ගියේ නැහැ. බිම වාඩි වෙලා අඬ අඬ හිටපු මම කුස්සියට දිව්වේ, පිහියෙන් ඇනගෙන මැරෙනවා කියන හැඟීමෙන්, තාත්තාත් මගේ පස්සෙන් දුවගෙන ඇවිත් මාව නැවැත්තුවා... මාව නවත්තපු එයා ජීවිතේ පළවෙනි වතාවට මට ගැහුවා... මට ගහපු මගේ අහිංසක තාත්තා මගේ කකුල් දෙක ලඟ වැටුණේ අඬා ගෙන..., "ඔයාව කවුරු දාලා ගියත් ඔයා මොනා කලත් මේ තාත්තා තාමත් ඔයාට ආදරෙයි..." කියන වචන ටික විතරයි එයාගේ කටින් පිට වුණේ... මාත් තාත්තා ලඟ එහෙම්ම අඬා ගෙන වාඩි වුණා. මට එදා දවස එළිවෙනවා දැනුනෙවත් නැහැ... තුන්දෙනාම බලා ගත්තු අත බලාගෙන කල්පනා කරා... කාමරේට වෙලා හිටපු මගේ ලඟින් අම්මා හෙල්ලුනේ නැහැ... එයාලා බයෙන් හිටියේ මම ජීවිතේට මොනා හරි කරගනී කියලා... තාත්තා උදේ වෙනකම් ඔෆිස් ඇඳගෙන ගිය ඇඳුම් පිටින් කල්පනා කර කර හිටියේ... පහුවෙනිදා උදේ තාත්තා ආවා මගේ කාමරේට, එයා මාත් එක්ක කතා කලේ නැහැ, අම්මට කිව්වේ... "ලෑස්ති වෙන්න ඩොක්ටර් කෙනෙක් ලඟට යමු කියලා..." තාත්තා එහෙම කියද්දී මම,
"තාත්තේ මට මේ දරුවා එපා... මෙයාව නැති කරන්න ඕනේ මට..." එහෙම කිව්වට පස්සෙයි තාත්තා මං දිහා බැලුවේ. "මං මිනී මරුවෙක් නෙමෙයි, මේ දරුවත් මට බරක් නෙමෙයි.." ඒ වචන ටික කිව්ව එයා කාමරෙන් එළියට ගියා.. එදා තමයි මම මගේ දරුවව මරන්න ඕනේ කියන වචන ටික මුලින්ම කිව්වේ... ඒ වෙනකොටත් මගේ බඩට මාස තුනක් කියලා මම දැනගත්තේ ඩොක්ටර්ගෙන්... එදා ඉඳන් හිතේ වෙනදා තිබ්බ සැහැල්ලුව මගේ ලඟ කවදාවත් තිබ්බේ නැහැ... තාත්තා අපි හිටපු ගේත් විකුණන්න දැම්මා... ගේත් මාසයක් වගේ යද්දී විකුණුවා... ජීවිතේට ගිහිපු නැති පැත්තකින් තාත්තා අළුත් ගෙයක් ගත්තා... වෙනදට පැයෙන් ඔෆිස් එකට යන තාත්තා දැන් උදේ හතරට ගෙදරින් යන්නේ... මේ හැමදේම මම නිසා කියලා හිතද්දී, මගේ හිතට දැනෙන දුක වචනෙන් කියන්න බැහැ... මගේ හිතේ තිබ්බ හීන හැමදේම පටන් ගන්නත් කලින් ඉවර වුනා. තාත්තා හැමදාම මට කන්න එක එක කෑම ජාති අරගෙන එනවා. අම්මා මම ආස හැම කෑමක්ම හදලා දෙනවා... තාත්තා මගේ ලඟ තිබ්බ ෆෝන් එක ගත්තා, ඒත් මම එයා එක්ක ඒකට තරහා නැහැ, මෙච්චර දෙයක් කරපු මට ඒ දෙන්නා තාමත් පණ වගේ ආදරෙයි, දවසින් දවස, මාසෙන් මාසේ මෙයා එළියට එන දවස් ලං වෙනවා... මෙයා ඇතුලේ දඟලනවා මට දැන් දැනෙනවා... ඒක වචනින් විස්තර කරන්න බැරි හැඟීමක්.. මෙයාව මට දැනෙන දැනෙන්න මගේ හිතේ තියෙන බය දවසින් දවස වැඩි වුණා. අම්මයි තාත්තායි ලඟින් හිට්යත් හිතට දැනෙන බය ඒ විදියටම තියෙනවා. අදට මාස හතයි... පුංචියට හිටපු මගේ පෙණුම ලොකු ගැහැණියෙක් වගේ වෙනස් වුණා... මේ හැමදේම මගේම වැරදි නිසා..., මට මාව පාලනය කරගන්න බැරි වුණ නිසා.. මේ හැමදේකටම වැරදි මම. හැමදාම හිතින් මම මටම ශාප කරගත්තා. ඒත් එක දවසක් රෑ මගේ බඩ අමුතු විදියට රිදෙන්න ගත්තා... මගේ කකුල් දෙකම වතුරෙන් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ... මම මැරෙන්න යනවා කියලා මට හිතුනේ. තාත්තා ඉක්මණටම එළියට ගියා වාහනයක් අරගෙන එන්න.. අම්මා මගේ ලඟ හිටියේ මගේ අත හයියෙන් අල්ලගෙන... මට ඒ දැණුන වේදනාව දරාගන්න බැරි වුණා.. මම කෑගානවා විතරයි මට මතක.. මගේ ඇස් වලින් කඳුළු ආවේ ඉබේටම... තාත්තා අරගෙන ආපු වාහනේ එයාලා මාව ඉක්මණටම හොස්පිටල් එක අරගෙන ගියා. තාත්තා මගේ දිහා බලාගෙන හිටියේ හොඳටම බයවෙලා... අම්ම මගේ ඔළුව අතගගා අඬනවා... මගේ ඇටකටු ඇතුළින් පොඩිකරනවා වගේ මට දැණුනේ... ඩොක්ටර්ස්ලා මාව ඉක්මණටම ලේබර් රූම් එක ඇතුළට ගත්තා... මම ඇඟට දැනෙන අමාරුව නිසා බෙරිහන් දුන්නා... මාව ප්‍රෙග්නට් වෙන්න කලින් මැරුණනම් එකක් කියලයි මට හිතුනේ... ඩොක්ටර්ස්ලා කතා වෙනවා... වෝටර් බෑග් එක කැඩිලා කියලා... මට ඒ දේ තේරුන් නැති වුණත්... මෙයා එළියට එන වෙලාව ලං වෙලා කියලා මට තේරුණා.. තව ඩොක්ටර් කෙනෙක් මගේ බඩට නළාවක් වගේ එකක්  තියලා බලනවා... ලේබර් රූම් එක ඇතුළේ හැමෝම කලබලෙන්, නළාව තියලා බලපු ඩොක්ටර්,
"හාර්ට් බීට් එක ඇහෙන්නේ නැහැ මට, කිව්වා..." ඒ වචන ටික ඇහුණ මගේ බය තවත් වැඩි වුණා. දිගටම නවත්තන් නැතිව හුස්ම ගන්න කියලා නර්ස් කෙනෙක් මට කිව්වා.. මගේ ඇඟම දහඩියෙන් තෙත් වෙලා... මගේ ඇටකටු ගලවගෙන යනවා වගේ එක පාරටම මොනාද මගේ කකුල් දෙක අස්සෙන් එළියට ආවා... එතකොටම ඩොක්ටර් කිව්වා, "ඔළුව එළියට ආවා.. මම දැන් ඇඳලා එළියට ගන්න හදන්නේ කියලා.." ඒත් එක්කම මම ඇඳ පුළුවන් තරම් හයියෙන් අල්ලගත්තා... මගේ ජීවිතේ දැණුන ලොකුම වේදනාව එක්ක එයා එළියට ආවා. ඒත් එක්කම නර්ස් කෙනෙක් දිගට තිබ්බ එයාගේ පෙකණි වැල කැපුවා... පුංචිම පුංචි බොනික්කෙක් වගේ හෙලවෙන්නේවත්, අඬන්නේවත් නැතුව එයා ඩොක්ටර්ගේ අත්දෙක උඩ... මට කඳුළු අස්සෙන් පෙණුනේ එයාව එහෙම. මුළු ඇඟම වතුරෙන් වගේ බත් වෙලා හිටපු එයාව, ලේබර් රූම් එකේ තිබ්බ ඇඳක් උඩින් තිබ්බ ඩොක්ටර්, ඉක්මණටම තුවායකින් පිහි දැම්මා.. අනේ එයා හොඳින්ද... මට මේ කිසිම දෙයක් තේරුනේ නැහැ... ඩොක්ටර්ස්ලා එයාගේ වටේ කලබලෙන් වට වුණා. එක ඩොක්ටර් කෙනෙක් එයාගේ කටට බටයක් දාලා බැලුමක් වගේ එකක් ප්‍රෙෂ් කරා, එහෙම කරාට පස්සේ තව කෙනෙක් එයාගේ පපුව තුන් පාරක් ප්‍රෙෂ් කරා... තුනපාරක් එක දිගටම එහෙම කරත් එයා පොඩ්ඩක්වත් හෙල්ලුනේ නැහැ.. පුංචිම පුංචි එයා ඇඳ උඩ බෝනික්කෙක් වගේ ඉන්නවා... එයා දිහා බලන් හිටපු මගේ ඇස් වලින් කඳුළු ආවේ ඉඹේටම.. ඇඟට කොච්චර වේදනාවක් දැනුණත් මට ඕන උනේ එයා කෑගහලා අඬන සද්දේ අහන්න. ඒත් එයා පොඩ්ඩක්වත් හෙල්ලුනේ නැහැ. මේච්චර වෙලා බබා ලඟ හිටපු ඩොක්ටර් මගේ දිහා බැලුවේ අමුතු විදියට. එහෙම බලපු ඩොක්ටර්, නර්ස් දිහා බලලා, "පාන්දර 2.45ට දරුවා නැති වුණා" කිව්වා, ඒ වචන ටික ඇහුණු මගේ මුළු ඇඟම පණ නැතිවුණා. එයාව මගේ ඇස් ඉස්සරහම තුවායකින් ඔතපු නර්ස්... මගේ ලඟට අරගෙන ආවා... "ඔයාට පුතෙක් හම්බවුනේ" කියලා එයාව මගේ අත් දෙකට දුන්නා... එයා සුදුම සුදුයි. ඇස් දෙක තදින් වහගෙන.. ලස්සන පොඩි කොණඩයක්... මට මොනාද කරන්නේ ඕනේ කියලා හිතා ගන්න බැරි වුණා. මම බය වෙලා වගේ එයා දිහා දිගටම බලාගෙන හිටියා... මගේ ලඟම හිටගෙන හිටපු නර්ස්... "දෙන්න මට එයාව කියලා. මගේ අතින් බලෙන්ම ගත්තා..." එතකොටයි මම මගේ හිතේ තිබ්බ දුකට අඬන්න පටන් ගත්තේ.. මට මතක නැහැ.. මම කොච්චර වෙලා ඇඬුවද කියලා... මගේ හිතේ තියෙන දුක අඩුවෙනකම් මම ගෙදර ඇවිල්ලත් ඇඬුවා. අද එයාගේ තුන් මාසේ දානේ... එයාට නමක් හිතන්නත් කලින් එයා මාව දාලා ගියා. දානේ වැඩ ඉවර වෙලා, පුටුවක වාඩි වෙලා එයා ගැන හිත හිත හිටපු මං ලඟින් අම්මා ඇවිත් වාඩි වුණා... මම එයාගේ අතින් අල්ලගෙන එයාගේ උරහිසට ඔළුව තියා ගත්තා... "මම දන්නවා ඔයාට මේ දේ අමතක කරන්න බැහැ කියලා... ඒත් ඔයා ඉස්සරහට ජීවිතේට මුහුණ දෙන්න ඕනේ පුතේ..." අම්මා එහෙම කියද්දිත් මම හිටියේ අඬ අඬ..
"මමයි අම්මේ එයාව මැරුවේ..."
"එහෙම නැහැ දුව... ඒක වෙන්න තිබ්බ දෙයක්.."
"නැහැ අම්මේ... තාත්තෙක් නැතිව එයා මගේ බඩට ආපු දවසේ ඉඳන් එයාව මට ඕනේ වුනේ නැහැ... එයා හම්බවෙන්න ලං වෙද්දිත් මම එයාට ආදරේ කලේ නැහැ.. මම එයාට හිතින් ගොඩක් වෛර කලා.. අන්තිමට ඒ තරහා එයාව මැරුවා අම්මේ...එයාට මාස 7 1/2යි, මගේ පුතාට මාස 7 1/2ක් වෙද්දී මම එයාව මරා ගත්තා අම්මේ... මමයි එයාගේ මිනීමරුවා..."

නිමි.
රයාන්ගේ සිතුවිල්ලක්....

Comments

Popular posts from this blog

සේපාලිකා පුංචි

බෝඩිම 3

රොටරි නංගි